කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ල, බල්ලන් බළලුන් වැනි සුරතල් සතුන්ගෙන්

බ්‍රිතාන්‍යයේ ‘කොවිඞ් 19’ දෙවැනි රැල්ල, බල්ලන් බළලුන් වැනි සුරතල් සතුන්ගෙන් ආරම්භ වනු ඇතැයි ලන්ඩන් ‘යුනිවර්සිටි කොලේජ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෝ අනතුරු අඟවති.



‘කොවිඞ් 19 වයිරසයෙන් දරුණු ලෙස බැටකන රටවල් අතරේ පස්වැනි ස්ථානයේ ඇත්තේ මහා බ්‍රිතාන්‍යයයි. මහා බ්‍රිතාන්‍යයේ ‘කොවිඞ් 19’ පළමු රැල්ල තවමත් අවසන් වී නැහැ. යම් කිසි දිනෙක අපට වයිරසය පාලනය කර ගැනීමට හැකි වුණොත්, එහි දෙවැනි රැල්ලක් ඇති වෙන්න පුළුවන්. එය සිදුවන්නේ අප ළඟින් ඇසුරු කරන අපේ සුරතල් සතුන්ගෙන්’ යැයි ලන්ඩන් ‘යුනිවර්සිටි කොලේජ්’ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෝ පවසති. මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක විග්‍රහයක් ‘ලැන්සන්ට් මයික්‍රෝබ්’ සඟරාවේ පළ කිරීමට, විද්‍යාඥයන් පියවරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

බල්ලන් බළලුන් වැනි සුරතල් සතුන්ගෙන් පමණක් නොව, ඌරන්, ගවයන් සහ බැටලුවන් වැනි ගොවිපොල සතුන් හරහා ද යළි වයිරසය මිනිසුන්ට ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව විද්‍යාඥයෝ පැහැදිලි කරති.

‘කොවිඞ් 19’ යනු කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයාය. කොරෝනා යනු ක්ෂීරපායී සතුන්ගේ සිරුරුවල දැකිය හැකි වයිරසයකි. චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වුණු ‘කොවිඞ් 19’ වයිරසය මනුෂ්‍යයන්ට ආසාදනය වන්න ඇත්තේ වවුලන් සහ කබල්ලෑවන් හරහා යැයි අනුමාන කෙරේ.

ඊට හේතුව ‘කොවිඞ් 19’ වයිරසයේ ලක්ෂණ සහිත වයිරස වවුලන්ගේ සහ කබල්ලෑවන්ගේ සිරුරුවල දකින්න ලැබෙන නිසාය. සතුන් හරහා මනුෂ්‍යයන්ට ආසාදනය වූ ‘කොවිඞ් 19’ මනුෂ්‍යයන් අතරේ පැතිර යන්නේ විකෘති වෙමිනි.
මනුෂ්‍යයන්ගෙන් බල්ලන්, බලළලුන් වැනි සුරතල් සතුන්ට පමණක් නොව, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර සිංහයන් සහ ව්‍යාඝ්‍රයන්ට ද වයිරසය ආසාදනය වූ බව සොයා ගෙන තිබේ. එපමණක් නොව, නෙදර්ලන්තය පසුගිය දා එරට මින්ක්ස් වර්ගයේ මුගටියන් 10,000 ක් මරා දැම්මේය. ඒ, උන්ගේ සිරුරේ වයිරස විෂබීජ හමුවුණු බැවිනි.

මහා බ්‍රිතාන්‍යයේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන මේ වනවිට 3,06,862 කි.බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 43,081 කි. වයිරසයෙන් තර්ජන එල්ල වුවත්, සෞඛ්‍ය පළිවෙත් අනුගමනය කරමින්, දෛනික කටයුතු යළි ආරම්භ කිරීමට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ප්‍රමුඛ රජය පියවර ගෙන තිබේ.

අද (25) වනවිට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් මරණයට පත්වුණු ගණන 4,75,000 ඉක්මවීය. ලොව පුරා වාර්තා වන ‘කොවිඞ් 19’ වයිරස ආසාදිතයන් ගණන මිලියන 10 ට ආසන්නය.

Post a Comment

0 Comments