ගිරිදේවි ටෙලි නාට්‍යයේ ආශා| ශලනි තාරකා


යක්ෂණියක වු ගැහිණියකගේ ස්වයංවරය ‘‘ගිරිදේවි’’ වර්ථමානයේ ටෙලි ප්‍රේක්ෂකාගාරයට තිළිණ වුණු ඉන්දික ධර්මතිලකයන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු අපූර්ව වූ නිර්මාණයක්. ටෙලි නිර්මාණයක් විදිහට මිනිසුන්ගේ හදවතට කතා කරන ‘ගිරිදේවි’ කියන්නේ එක්තරා විදිහකට ප්‍රේක්ෂක ඇස ඇබ්බැහිකරවීමක් කිව්වොත් නිවැරදියි. ඒ ඇබ්බැහිවීම ඇතුළේ ඉන්න ආශා ගැන අපට කතා නොකරම බැහැ. ඇය තමයි ශලනි තාරකා. රංගන ක්ෂේත්‍රය තුළ ඔබ බොහෝ ආදරය කරන මේ තාරකාව විවිධ චරිත හරහා නිරතුරුවම ප්‍රේක්ෂක ඔබට සමීප වෙනවා. ඒ අතුරින් ගිරිදේවි තුළ ආශා කියන්නේ ශලනිව මෑත කාලයේ ප්‍රේක්ෂකයාට සමීප කරපු විශිෂ්ට චරිතයක්.

කොහොම වුණත් කලාවට පණ ඇරලා ආදරය කරන මාධ්‍ය බොහොම සීරුවට ඇසුරු කරන ඇය කාලයකට පස්සේ අපි කතා බහ තුළින් මුණ ගැහෙන්න සිතුවා.
අපි කතා බහ ගිරිදේවිගෙන්ම ආරම්භ කරමු.

ඇත්තටම ගිරිදේවි ටෙලි නාට්‍යයේ ආශා කියන්නේ බොහෝ කාලෙකට පස්සේ මට ලැබුණූ වෙනස්ම චරිතයක්. පසුගිය වසරේ මම රඟපාපු අඩෝ ටෙලි නාට්‍යයෙන් පස්සේ ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ආදරයක් ලැබුණූ ටෙලි නාට්‍යය තමයි ගිරි දේවි ටෙලි නාට්‍යය විශේෂයෙන් මතක් කරන්න ඕන සමන්ත කුමාර ගමගේ අයියාගේ රචනයෙන් ඉන්දික ධර්මතිලක මහතාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු ‘ගිරිදේවි’ ටෙලි නාට්‍යය එක්ක සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා වගේම ආශා කියන්නේ කාලෙකට පස්සෙ ඇඟට දැනෙන්න රඟපාන්න ලැබුණු චරිතයක් කිව්වොත් නිවැරදියි. අඩෝ ටෙලි නාට්‍යයෙන් පස්සේ ප්‍රේක්ෂකයෝ ගිරිදේවි මෙච්චර ආදරේ කරයි කියලා හිතුවේ නැහැ.




ඒ ආශා ගැන අපි කතා කරොත්?
ආශා බොහොම දඩබ්බරයි. මුරණ්ඩුයි. හැබැයි ඇය හිත හයිය යකඩ ගැහැණියක් ආශා ගැන කියනවානම් ආශා කියන්නේ අවාසනාවන්තියක්. අම්මා තාත්තා නැති අධ්‍යාපනය ලබන්න බැරිවුණ, දිගින් දිගටම තමන්ට සිද්ධ වෙන කෙනෙහිලිකම් දරාගෙන ඉවසීම ඉක්මවා ගිය තැනැදි ඊට එරෙහිව නැගී සිටින තරුණියක්. අම්මාගේ ආදරේ නොලැබෙන ආශා නිතරම තමන්ට නොලැබෙන ඒ ආදරේ ගිරිදේවි ඇතුළේ සොයනවා. ඒ වේදනාව කෙනෙහිලිකම් දරාගන්න බැරි තැන ආශා ප්‍රචණ්ඩ ජීවිතේට මුහුණ දෙනවා. ඒ ආශාට අද මිනිස්සු ආදරේ කරන්නේ හැම ගැහැණියක් තුළම ආශා කෙනෙක් ජීවත් වෙන නිසා. ගිරිදේවි හි ආශා නිරූපණය කරන්නේ මුළු මහත් සමාජයේම කාන්තාව ඇය විශිෂ්ට මිනිසුන් ඉදිරියේ සටන් වදිමින් තම ජීවිතය ගොඩනගා ගන්න වෙර දරණ යකඩ ගැහැණියක්. එම ගැහැණිය පිළිබඳ කතා කරන්න ගිරිදේවිය ගන්නා වෑයම ඇත්තෙන්ම විශිෂ්ටයි.



කොහොමද ගිරිදේවි දර්ශන තලයේ මතකය.
මෙහි රංගනයෙන් දායක වෙන්නේ ඉතාම සීමිත ශිල්පීන් පිරිසක්. අපි පුදුමාකාර එකමුතුවකින් සහයෝගයකින් තමයි මේ කටයුත්ත කරගෙන යන්නේ. මෙහි දර්ශන තලයේ සෑම දවසක්ම මට නම් අමතක නොවන දිනයක්. මට මතකයි එක දර්ශනයකදි මමයි දසුන් අයියායි (සඳුන්) මෝටර් බයිසිකලේ පැදලා යද්දි බොරළු පාරේ දසුන් අයියා හයියෙන්ම බයිසිකලේ රේස් කළා. රේස් කරපු වේගයට එයාටත් බයිසිකලේ පාලනය කරගන්න බැරි වුණා. අම්මෝ මාව උඩින් ගිහිල්ලා බිමට වැටුණා. එදා ජීවිතේ බේරුණේ අනූ නවයෙන්.



ලද බොළඳ සියුමැලි කෙල්ලෙක් විදිහට පෙනුනත් ආශා වගේම ඔබත් ශක්තිමත් තරුණියක් කිව්වොත්?
මම එකඟ වෙනවා. එක එක කාලවලදි මට විවිධ අපවාදයන්ට මූණ දෙන්න වුණා. ඒ අපවාද අවලාද චෝදනාවලට සැලුනා නම් මම මියගිය තැන්වල ගසුත් පැලවෙලා ඉවරයි. මට මඩ ගැහුවා කියලා මම එක තැන නතර වුණේ නැහැ. මම නිහඬව තව තවත් ඉහළට ආවා. මම කරන රංගනයක් ගැන චරිතයක් ගැන කතා කරන්න, ආදරය කරන්න, රංගන ශිල්පිනියක් ලෙස මට කලාවට දිය හැක්කේ චරිතයට නව පනක් පමණයි. ඒවායේ හොඳ නරක කතා කරන්න. ඒත් කෙනෙකුගේ පෞද්ගලික ජීවිතේට ඕනවට වඩා එබිකම්කරන්න යන්න එපා. අපේ මිනිස්සුන්ට වැරදිලා තියෙන්නේ අන්න එතන. මම මාධ්‍ය පවා භාවිතා කරන්නේ හරිම සීරු මාරුවට. අපිට ප්‍රේක්ෂකයින් අතරට එන්න උදව් කළේ මාධ්‍ය. මට ඒවා අමතක නැහැ. මම මාධ්‍යයට ගොඩක් ගරු කරනවා. ඒත් මට එක කාලෙකදි මාධ්‍ය ගැන කලකිරුණා. ඒවා නැවත මතක් කරන්න මම කැමැති නැහැ. ඒ නිසා අදටත් මම කතා කරන්නේ තෝරාගත් පුවත්පත් කිහිපයකට විතරයි.



පසුගිය කාලේ ශලනි ගීත රචිකාවියක් වෙලා හිටියා දැන් ගීත රචනයෙන් ඈත් වෙලාද?
අපෝ නෑ. තාමත් මම ගීත ලියනවා. මම ලියපු ගීත දෙකක් රිලිස් කළ මුලදි ගොඩක් අය මට ලියන්න පුළුවන් කියලා දැනගෙන හිටියේ නැහැ. මගේ මුල් ගීත දෙක ටීවී නාලිකා වල ප්‍රචාරය වුණත් ප්‍රේක්ෂකයන් ගීතය ඇහුවට මේ ගීත ලිව්වේ මම කියලා ගොඩාක් අය දැනගෙන හිටියේ නැහැ. මම වයස දොළහේ ඉඳලා ලියන කෙනෙක්. ලියන ඒවා ප්‍රසිද්ධ කරන්න මම එච්චර උනන්දු වුණේ නැහැ. මේ වෙනකොට මගේ තෙවැනි ගීතය ලියාගෙන යනවා. මගේ මුල් ගීත දෙකත් හිතපු නැති විදිහට රසිකයන් වැළඳ ගත්තා. මේ ගීතයත් රසිකයින් වැළඳ ගනීවි කියලා හිතනවා.


මේ ගීතවලින් කියන ප්‍රේමය විරහව ශලනිගේ අද්දැකීම්ද?
දෙයක් ලියන්න මොකක් හරි අද්දැකීමක් තියෙන්න ඕන නේ. ඔව් මේ ගීතවලට මගේ අත්දැකීම් එකතු කරලා තියෙනවා. එක කාලෙකදි මට හැම දේකින්ම ඈත් වෙන්න ඕන වුණා. ඒ කාලෙදි මම හරියට කවි සින්දු නිසඳැස් ලිව්වා. ඉදිරියේදී අවුරුද්දකට ගීත දෙකක් විතර මගෙන් අහන්න ලැබේවි.



දැන් ශලනිට කසාදයක් එහෙම කරගන්න කලවයස හරි කියලා හිතෙන්නේ නැද්ද

කලවයස ආවම විවාහ වෙන්න ඕන කියන එක සමාජයේ මිනිස්සු හදාගත්ත දෙයක්. අපිට ගැලපෙන කෙනා ලැබුණු දවස තමයි හොඳම දවස ඒ දවස මට බොහොම ඈතයි.



නදීශා අතුකෝරළ
ඡායාරූප: සජීව ලක්ෂාන්

Post a Comment

0 Comments